අපවත් වී වදාළ අටමස්ථානාධිපතිගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරේ

අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදීය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය.

1953 වසරේ උපත ලද පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේදී අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් විය.

පසුගිය බදාදා රාත්‍රියේ උන්වහන්සේගේ දේහය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේදී තැන්පත් කෙරුණි.

අද දක්වා එම ශාලාවේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ද එක් වූ  බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.