වික්ටෝරියා වේල්ල අනවසරයෙන් රූපගත කළ පිරිසක් අත්අඩංගුවට

වික්ටෝරියා ජලාශ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ අවසරයකින් තොරව ඩ්‍රෝන යානාවකින් දර්ශන රූපගත කළ පුද්ගලයින් හත් දෙනෙකු යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් තෙල්දෙණිය පොලීසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

අදාළ පිරිස විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

නිසි බලධරයෙකුගේ අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව වික්ටෝරියා වේල්ල හා ජලාශය පිහිටි කලාපයේ ඡායාරූප ලබාගැනීම හෝ වීඩියෝගත කිරීම නොකරන ලෙස දැනුම් දී තිබියදීත් ඔවුන් මෙලෙස දර්ශන ලබාගැනීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

සැකකරුවන් සතුව තිබූ ඩ්‍රෝන යානය, කැමරාවක් සහ ඔවුන් පැමිණි වෑන් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.