ශ්‍රීලංකන් ගුවන් සේවයේ PATA රන් සම්මානයෙන් පිදුම් ලබයි

පැසිෆික් ආසියා සංචාරක සංගමයේ (PATA) 27 වැනි සම්මාන උළෙලේ දී  අලෙවිකරන වාහකයා කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය  පසුගියදා පිදුම් ලැබීය.  

මෙම සම්මානය හිමිවූයේ ‘Say Bonjour to Paris’ යන නමින් ගුවන් සේවය දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහාය. ගුවන් ‍සේවයේ අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව පෙන්නුම් කරමින්  අඛණ්ඩව මෙම සම්මානය හිමි වූ සිව්වන අවස්ථාව මෙය වන අතර ඒ සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙතෙක් හිමිව ඇති සමස්ථ PATA රන් සම්මාන සංඛාව පහකි. 

 ලොව පුරා සංචාරක ආයතන සහ සංචාරක සංවිධාන සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 136 ක් අතරින් මෙවර රන් සම්මානලාභීන් 25 දෙනෙකු  තොරාගත් අතර ඊට අමතරව ග්‍රෑන්ඩ් ටයිටල් ජයග්‍රාහකයින් දෙදෙනෙකු කිරුළු පැළඳීය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 12 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරාපත් කරගන්නා ලදී. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය, “අපගේ අලෙවිකරණ මුලපිරීම් සඳහා තවත් PATA සම්මානයක් ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සහ ඔවුන්ව දැනුම්වත් කිරීම මෙන්ම ක්ෂේත්‍රයේ සහෝදරත්වය ගොඩනගා ගැනීමට අප දරන උත්සාහය මෙහිදී පෙන්නුම් කරනවා. ජාතික ගුවන් සේවය වශයෙන්, මෙම ගෝලීය සම්මානය සමඟින් ශ්‍රී ලංකාව ගෝලීය සිතියම තුළ  කැපීපෙනීම අපට ගෞරවයක්. මෙම සම්මානය ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය නිවැරදි දිශාවට ගමන් කරන බවට සහතිකයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 ඔක්තෝම්බර් මාසයේ දී පැරිස් සහ කොළඹ අතර සතිපතා සෘජු සේවා තුනක් නැවත ආරම්භ කිරීමට සමගාමීව ‘Say Bonjour to Paris’ ප්‍රචාරණ ව්‍යාපාරය නිර්මාණය කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර හයක විරාමයකින් පසු නැවත පැරීසියට මෙහෙයුම් සිදු කළ අතර, ගුවන් ගමන් නැවත ස්ථාපිත කිරීම ගුවන් ගමන් ජාලයේ දිගුකාලීන පැවැත්මට සහ සෙසු ජාලයට එම මාර්ගය ලබාදෙන  දායකත්වය අතිශය වැදගත් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවි ප්‍රධානී, සමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය, “අපිට අඛණ්ඩව සිව්වන වසරටත් මෙම කිරුළ ආරක්ෂා කර ගැනීමට  හැකි වුණා. ශ්‍රීලංකන් කළමනාකාරිත්වය, අපගේ වටිනා හවුල්කරුවන්, මගේ කණ්ඩායම විසින් මේ සඳහා ලබා දුන් දිරිගැන්වීම් සහ සහයෝගයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.  ඒ වගේම අපගේ නිර්මාණාත්මක ආයතනය වන Wunderman Thompson, ආයතනයත් මේ ‍අවස්ථාවේ සිහිපත් කරන අතර ඔවුන් නොමැතිව මෙම ජයග්‍රහණ ලබා ගැනීම අපහසු වනු ඇත. ” යනුවෙන් හෙතෙම පැවසීය.  

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වූයේ තමන් මින් පෙර කිසිදා නොපැමිණි නව ගමනාන්තයක් නැරඹීමට සංචාරකයින් උනන්දු කරවීමත්  ,  මේ වන විටත් එම ගමනාන්තය හුරුපුරුදු  සංචාරකයින්ගේ සිත් තවඳුරටත් ඇඳ බැඳ තබා ගැනීමයි. පැරිස් කලාභවන 1000කට අධික නිර්මාණ  ප්‍රමාණයකින් යුත් කලා පුරවරයක් ලෙස පිළිගන්නා බැවින් මෙම ප්‍රචාරණ ව්‍යාපාරය තුළ එම කලාවන් නිරූපනය වීමත් ඒවා ගවේෂණය කිරීමට කැමැත්තක් ඇතිවන අයුරින් නිර්මාණය කර තිබේ. එසේම ‘සිලෝන්’ සංචාරක ගමනාන්තයක් ලෙස මෙහිදී නිරූපණය කර තිබේ.

PATA Gold Awards 2022 සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අනෙකුත් ශ්‍රී ලාංකික ආයතන දෙක වන Jetwing Hotels සහ Cinnamon Hotels and Resorts යන හෝටල්වලට සහ එහි වටිනා සත්කාරක හවුල්කරුවන්ටද ශ්‍රීලංකන් ගුවන් සේවය සුබ පැතුම් පිරිනමයි.

Leave a Reply

Your email address will not be published.