ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඩබල් කරයි පළමු අදියර බස්නාහිරින්

නොවැ. 01 සිට ක්‍රියාත්මකයි / පිට පළාත්වල ලියාපදිංචිය නොවැ. 06 දා සිට

ජනපතිගෙන්  උපදෙස්

වෘත්තීය මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා QR කේතය වෙනුවෙන් ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 10ක ඉන්ධන කෝටාවක් හිමි වේ. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර, නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාත තුළ සියලුම මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රිරෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබා දීමට සැලසුම් කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තීමය මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වැනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මඟී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලිසියේ ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.