අංශභාගයෙන් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

ආඝාතය හෙවත් අංශ භාග රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 4,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වාදෙන්නේ, අඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක් හෝ රුධිර පීඩනය මැන ගැනීම සිදුකළ යුතු බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය එම අදහස් පළ කළාය.

“පසුගිය වසර 17ක කාලය තුළ ආඝාතය වැළඳීමේ අවධානම 70%කින් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම ආඝාතයෙන් සිදුවන මරණ 43%කින් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම මේ මරණවලින් 80%කට වැඩිය සිදුවන්නේ ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් සහිත රටවල්වල කියලා ලැබෙන දත්තවලින් තහවුරු වී තියෙනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් වෙන්නේ ශ්‍රී ලංකාවේ වසරකට අංශභාග රෝගය නිසා රෝගීන් 60,000ක් පමණ රෝහල්ගත වෙනවා. මේ අය අතරින් 4,000ක් පමණ මරණයට පත්වෙනවා වසරක් තුළ. මේ අගය පසුගිය වසර 10 තුළ දෙගුණයක් වෙලා තියෙනවා.”

මේ අතර ආර්යුවේද ක්ෂේත්‍රය තුළ ද මේ වන විට ඖෂධ හිඟය මතුව ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් ආයුර්වේද රෝහල් කිහිපයක ද යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published.