පොලීසිය තුළදී තරුණියකට බැටන් ප්‍රහාරයක්

15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමග මාතර තිහගොඩ පොලීසිය තුළ ඊයේ (29) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.

එහිදී පොලීසිය තුළට ගිය තරුණියකට එහි සිටි පොලිස් නිලධාරියෙකු පහර දුන් බව පැවසෙන සිද්ධියක් ද වාර්තා වී තිබේ.

ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ,

“කෙල්ලගේ බෙල්ලට බැටන් පොලු පහරක් එල්ල කළා. පේනවා නේද පොලීසිය.”

මේ අතර මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ ඊයේ පස්වරු 4.30ට පමණය.

තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු ඊයේ පස්වරුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව නිවසක් වැටලීම සඳහා තිහගොඩ ප්‍රදේශයට ගොස් තිබුණි.

එම නිවස පරීක්ෂා කර නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් දැක ඇත්තේ ත්‍රීරෝද රථයක් මාර්ගය පුරා ධාවනය කරමින් ඇති ආකාරයයි.

එහිදී පොලිස් නිලධාරීන් අදාළ ත්‍රීරෝද රථය නවත්වන ලෙසට අණ කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ ත්‍රීරෝද රථය නැවැත්වූවද පොලිස් නිලධාරීන් ඒ අසලට ගමන් කරන අවස්ථාවේදී ත්‍රිරෝද රථය යළි ඉදිරියට ගමන් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව තිහගොඩ කැන්ඳපොල මාර්ගයේ ගමන් කරමින් තිබූ අදාළ ත්‍රීරෝද රථය අතරමග නතර වී ඇති අතර එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිටි තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ රාජකාරී ගිනිඅවිය එහි සිටි දරුවෙකුගේ හිසට එල්ල කර තිබේ.

පසුව ත්‍රීරෝද රථයෙන් බසින ලෙස එහි සිටි පස් දෙනාට පොලිස් නිලධාරීයා අණ කරනවාත් සමග දරුවාට එල්ල කර තිබු ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබුණි.

එහිදී ගිනිඅවිය එල්ලවී තිබු පහළොස් හැවිරිදි දරුවාගේ හිසට බරපතළ තුවාල සිදුවු අතර පොලිස් නිලධාරින් පැමිණි ත්‍රීරෝද රථයෙන්ම ඔහු මාතර රෝහලට රැගෙන ගොස් තිබුණි.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුණේ මාතර නායිම්බල කටුවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි හරීස් හසංක දේශාන් නැමැති 15 හැවිරිදි දරුවෙකි.

ඔහු මාතර නායිම්බල විද්‍යාලයේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී.

මේ අතර සිද්ධියෙන් පසුව ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව විමසීමට ඊයේ රාත්‍රියේ තිහගොඩ පොලීසියට ගොස් තිබුණි.

ඒ අනුව ඊයේ රාත්‍රියේදීම තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වන උප පොලිස් පරීක්ෂකවරයාව පොලීසිය අත්අඩංගුවට ගත් අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය ද අත්හිටුවා තිබේ.

පොලීසිය අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාව අද පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළේය.

පසුව ඔහුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා වරද පිළිගත් බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව ඔහුව නොවැම්බර් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මාතර, ගාල්ල සහ අඟුණුකොලපැලැස්ස යන බන්ධනාගාර හැර වෙනත් බන්ධනාගාරයක සැකකරුව රඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ සැකකරු විසින් සේවයේ සිටින කාලයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අදාළ බන්ධනාගාරවල සිටීම හේතුවෙනි.

මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලබූ දරුවාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරය එල්ල වු ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂාවක් සිදුකර සාක්ෂි සටහන් කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.