වසර 3කට පසු විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට අද නවසීලන්තය හමුවෙයි

නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තුන්වන තරගයේදී ආසියානු ශූර ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගණයට පිවිසෙයි. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අවසන් වරට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හමු වූ විස්සයි20 තරගයෙන් ලකුණු 37ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව ලබාගත් අතර, වසර 3කට පසු දෙරට අතර විස්සයි20 තරගයක් පැවැත්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව 2019 වසරේ සිට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව විස්සයි20 තරගයක් ක්‍රීඩා කර නැති හෙයින් ගතවූ වසර තුන තුළ කණ්ඩායම් දෙකම බොහෝ සේ වෙනස් වී ඇත. වෙනස්වීම් සිදුවීමෙන් අනතුරුව එකිනෙකා මුහුණට මුහුණ හමුවන අද තරගයේදී ඕනෑම දෙයක් සිදු විය හැකි බව විචාරක මතය වී තිබේ.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේදී මෙතෙක් නවසීලන්තය සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වූ හෙයින් ප්‍රසාද ලකුණු 3ක් ලබා ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකෙන් තරගයක් ජයගෙන තරගයකින් පරාජය වී ලකුණු 2ක් ලබා සිටී. අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට පළමු කාණ්ඩයේ පළමු තැන හිමිවන හෙයින් වඩාත් උණුසුම් තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ. ලෝක කුසලාන ආරම්භක තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහි ව නවසීලන්තය ලකුණු 89ක දැවැන්ත ජයක් අත්කර ගත්ත ද ඇෆ්ගනිස්තානයට එරෙහිව පහසු තරගයක් අපේක්ෂාවෙන් සිටි නමුත් වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන්නට සිදු විය. ශ්‍රී ලංකාව සුපිරි 12ට පිවිසීමට පෙර සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කරමින් තරග තුනෙන් දෙකක් ජය ගැනීමට සමත් විය. සුපිරි 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව කඩුලු 9කින් අයර්ලන්තය පරාජය කළ අතර, ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීය. උණුසුම් තරගයක් ලබාදිය හැකි කණ්ඩායමකට අවශ්‍ය සියලු ශක්තීන් නවසීලන්තය සතුව ඇති අතර, මාටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල් වැනි ක්‍රීඩකයන් පවා ක්‍රීඩා පිටියේ නැතිව සටන්කාමී ලෙස සියලු ක්‍රීඩකයන් හැසිරෙමින් සිටිති.

ශ්‍රී ලංකාව මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට තරග රටාවක් පෙන්නුම් කරමින් සිටින අතර, ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්තානය සහ ඉන්දියාව වැනි කණ්ඩායම් පරාජය කිරීමෙන් කුසලතාව මනා ලෙස ප්‍රදර්ශනය කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු ආබාධවලට ලක්වීමෙන් ඇති වූ අඩුපාඩු සකසාගෙන සමබර කණ්ඩායමක් අද තරගයට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. ඔස්ට්‍රේලියාව ලකුණු 89කින් පරාජය කිරීමට නවසීලන්ත පිල සමත්වීමෙන් ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හඳුනා ගැනීමට හැකියාව ලැබිණි. එබැවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තර්ජනය නවසීලන්තයට එරෙහිව වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විස්සයි20 තරග ආකෘතියේදී 19 වතාවක් එකිනෙකාට මුහුණ දී ඇති අතර එයින් තරග 10ක ජය නවසීලන්තය හා තරග 8ක ජය ශ්‍රී ලංකාව සතු වී තිබේ. තරගයක් කිසිදු ප්‍රතිඵලයකින් තොරව නිමා වූවේය.

Leave a Reply

Your email address will not be published.