ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට රජය වෙත ශෝකය පළ කර තිබේ.

එම අනතුරින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, මියගිය පවුල්වල සාමාජිකයින්ට සිය බලවත් ශෝකය පළ කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර දකුණු කොරියාවේ සෝල්  අගනුවර එළිමහන් උත්සවයක් අතර තුර ඇති වු තෙරපීමකින් පුද්ගලයින් 151 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් ශෝකය පළ කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව වෙත සිය ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (29) රාත්‍රී සෝල් නුවර පැවති “හැලොවින්” උත්සවයක් අතර තුර හටගත් තෙරපීමකින් පුද්ගලයින් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තුවාල ලැබු සංඛ්‍යාව 80 ඉක්මවයි.

එම උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයින් 3,500ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිස් ස්ථාන වෙත පැමිණිලි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව පැවති එම උත්සවය සඳහා සහභාගී වූ පිරිස ලක්ෂය ඉක්මවු බව ද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.