දකුණු කොරියාවේ හැලොවින් සැමරුමක තෙරපීමකින් 149 ක් මියගොස් 76කට තුවාල

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමක දී පුද්ගලයින් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 76 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමේදී මියගිය 149 දෙනා අතර සිටින වැඩි පිරිසක් යෞවනයන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම එම පිරිස අතර විදේශිකයන්ද සිටින බව සඳහන්.
තුවාල ලැබූවන් 76 දෙනාගෙන් සැළකිය යුතු පිරිසකගේ තත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
හැලොවීන් සැමරුම් සඳහා ජනප්‍රිය, රාත්‍රි සාද පැවැත්වෙන සෝල් අගනුවර ඉටේවොන් ප්‍රදේශයේ පටු මංතීරුවකදියි මෙම තෙරපීම සිදුව ඇත්තේ. මෙම උත්සවයට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගිවී සිට ඇති බවයි වාර්තාවන්නේ.
මෙම පටු මංතීරුවේ සිටි පිරිස අතර සිටි කිහිපදෙනෙකු බිම ඇදවැටීමත් සමඟ මෙම තදබදය හටගෙන තිබෙනවා.
ඉන් අනතුරුව සෙසු පිරිස ඉදිරියට යාමට උත්සහ කිරීමේදී මෙලෙස අධික තෙරපුමක් ඇතිවී තිබෙන බව සඳහන්.
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මුහුණු ආවරණ නොමැතිව පැවැත්වූ පළමු හැලොවීන් උත්සවය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
මේ අතර දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.
එසේම ලෝක නායකයන් රැසක් ද දකුණු කොරියානු ජනාධීපතිවරයා අමතා මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.