කඳුරට දමිළ ජනතාව ශ්‍රී ලාංකිකයන් කරලීම සොයා බලන්න කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දමිළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදී අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාර ගැනීමේ අවස්ථාවට ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

වසර 23කට පෙර අභාවප්‍රාප්ත වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා සිහිපත් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර, ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබීය.

වතුකරයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන අතරම වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කඳුකරයේ ජීවත් වන දමිළ සම්භවයක් ඇති ජනතාවට ඉඩම් ලබා දීමට සහ ඒවායේ නිවාස ඉදි කිරීම් කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට රජයේ සහාය ලබා දෙනුයේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ටද තමන්ගේම නිවසක ජීවත් වීමට අවස්ථාව ලැබිය යුතු නිසා බව ජනාධිපතිවරයා පැවසීය.

අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා සිරිමා -ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු නැවතී සිටි ඉන්දීය සම්භවයක් ඇති සියලුම ජනතාවට අවිහිංසාව තුළින් පුරවැසිභාවය ලබා දුන් නිසා එතුමා 20 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයකු බවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.