පාලම කඩාවැටීමෙන් මියගිය ගණන තවත් ඉහළට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

අනතුරින් 177 දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

ඉන්දියාවේ ගුජරාට් හි මෝබි ප්‍රදේශයේ හරහා ගලා යන මච්චූ ගංඟාව හරහා මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබේ. 

වසර 150ක් පමණ ඉපැරණි එම පාලම ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එය යළි මහජනතාව සඳහා යළි විවෘත කර ඇත්තේ පසුගිය 26වැනිදාය.

ඊයේ (30) පස්වරුවේ එම එල්ලෙන පාලම මත “චාත්” නැමැති ආගමික චාරිත්‍රය ඉටුකිරීම සඳහා බොහෝ පිරිසක් එක්ව සිට ඇති අතර පස්වරු 6.30 ට පමණ පාලම හදිසියේ කඩාවැටි ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාව වනවිට පාලම මත පුද්ගලයින් 500ක් පමණ සිට ඇති අතර ඉන් බොහෝ පිරිසක් කාන්තාවන් සහ දරුවන් බවට වාර්තා වෙයි.

පාලම කඩා වැටීමත් සමග එහි සිටි බොහෝ පිරිසක් එකිනෙකා මත ඇදවැටී ඇති අතර ඇතමුන් පාලමේ ඉතිරි කොටසේ එල්ලී දිවි ගලවා ගැනීමට උත්සාහ කර ගන්නා ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාකළේය.

අනතුරින් දිවිගලවා ගත් පිරිස් එම අසල සිටි පුද්ගලයින් මුදාගෙන එම ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කිරීමටද දැඩි වෙහෙසක් ගෙන තිබුණි.

තවත් පිරිසක් පිහිනා දිවි ගලවා ගැනීමට සමත්වුණි.

මේ අතර ඊයේ පස්වරුවේ එම පාලම මත සිටි පිරිසක් පාලම සිතාමතාම පැද්දීමට උත්සාහ ගන්නා ආකාරය දැක්වෙන විඩියෝ පටයක්ද මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

අනතුරින් දිවිගලවා ගෙන ඇති පුද්ගලයින් සොයා එරට ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි. 

Leave a Reply

Your email address will not be published.