නවකවදය දුන් බවට කැලණිය සරසවි සිසුවෙකුගෙන් පැමිණිල්ලක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවකවදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු කිරිබත්ගොඩ පොලීසියට ඊයේ(31) පැමිණිලි කර තිබේ.

නවකවදයට ලක් වූ සිසුවා මේ වන විට රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ සවස 3.00 ට පමණ දේශන අවසන්වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සදහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙවෙයමින් සිටියදී තමන් නවකවදයට ලක් වූ බවයි පැමිණිලිකාර සිසුවා පවසා ඇත. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගේ බාහිර පෙනුම  සම්බන්ධයෙන් දෝෂා‍රෝපනය කර කොණ්ඩය හා රැවුල බූ ගා දමන ලෙස පවසා තිබේ. සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසත් අත් ඔරලෝසු නොපලදින ලෙසටත් පැවසූ බව පැමිණිලිකරු සදහන් කර ඇත.

ඊට විරුද්ධ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස  ඔහු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ. එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් තුන් දෙනෙකු තමන්ගේ මුහුණට සහ ඇගට පහර කිහිපයක් එල්ල කළ බව පැමිණිලිකාර සිසුවා පවසයි. 

පහරදීම සිදුවන අවස්ථාවේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් නැවත දුටුවහොත් හදුනාගත හැකි බවත් පැමිණිල්ලේ සදහන්වේ. 

සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සදහා කිරිබත්ගොඩ පොලීසිය විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.