කුඩු ජාවාරම්කාරියගෙන් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් !

නඩුවට ගිය දෙදෙනාට වෙඩිතබා මහ මඟ මරා දමයි

ගාල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින ඝාතන නඩුවකට පෙනී සිටීමේ සූදානමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට ඊයේ (31) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කාරියක් විසින් දුන් රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවකට අනුව බවට විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබෙමින් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මහ මඟ දෙනෝදාහක් බලා සිටියදී ටී 56 අවියකින් කළ මෙම ද්විත්ව ඝාතනය ගැන විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායම් තුනක් පත්කර ඇති බව දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා සඳහන් කළේය. දකුණු පළාත් අපරාධ කොට්ඨාසයේත් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේත් නිලධාරීන් එම පොලිස් කණ්ඩායම් අතර සිටිති.

හික්කඩුව කලුපේ අඹගහවත්තේ පදිංචිව සිටි අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් (47) සහ හෙන්දහේවගේ ඉසුරු ප්‍රසන්න (26) නැමති දෙදෙනා එසේ ඝාතනය විය.

යතුරු පැදියක නැඟුණු ඔවුන් දෙදෙනා සුදු ඇඳුමින් සැරසී උදෑසන ගාල්ල අධිකරණය බලා ගමන් අරඹා ඇත්තේ හික්කඩුව කලුපේ සිටය. පාතාලයේ ප්‍රබලයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ “කටා රොෂාන්“ නමැත්තාව කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට පෙනී සීටීමට එසේ ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. කටා රොෂාන් නමැත්තාගේ ඝාතනය සිදුව ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් 21 වෙනිදින. හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගර වත්තේදීය. රත්ගමින් කුලියට ගත් වෑන් රථයක නැඟී ගොස් ඔහුව කපා කොටා මරා දමා ඇත්තේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත බව කියති. එම ඝාතනය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අයගෙන් එක් අයෙක් තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඇප ලබා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට ගමන් කරමින් සිට ඇත්තේ කලුපේ සිටය. ගාල්ල අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනා යතුරු පැදියේ නැඟී කලුපේ සිට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී හික්කඩුවේ සිට එම යතුරු පැදිය පසුපසින් වෙඩික්කරු යතුරු පැදියක නැඟී හඹාවිත් ඇති බව විමර්ශණවලින් පෙනී ගොස් ඇත. යතුරු පැදිය තිරාණගම හංදියට ආසන්න වනවාත් සමඟ වෙඩික්කරු රැඳී සිටි යතුරුපැදිය එහි පැදිකරු වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇති බවත් යතුරුපැදි දෙක මාර්ගයේ සමාන්තරව ධාවනය වනවාත් සමඟ වෙඩික්කරු ටී 56 අවිය අතට ගෙන එකවරම එහි ඇති පතොරොම් ගැබ අවසන් වන තුරුම වෙඩි වරුසාවක් මුදා හැර තිබෙන බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරය හමුවේ ඔවුන් දෙදෙනා යතුරු පැදිය ද සමඟ එතැනම මැරී වැටෙන විට තවත් මීටර් 20ක් පමණ ඉදිරියට ධාවනය වූ වෙඩික්කරු රැඳී සිටි යතුරු පැදිය ඒ වේගයෙන්ම ආපසු හරවාගෙන පලාගොස් ඇත්තේ හික්කඩුව දෙසටය. යතුරු පැදිය එසේ හරවනවාත් සමඟ පසුපස අසුනේ සිටි වෙඩික්කරු බිම වැටීමටද ගොස් ඇති බව ඒ ආසන්නයේ ඇති වෙ‍ෙළඳ සලක තිබුණු ආරක්ෂක කැමරාවක සටහන්වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. වෙඩි 17ක් 20ක් පමණ ඝාතනය වූ දෙදෙනාගේ සිරුරුවලට වැදී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව ද පොලිසිය කියයි. ඒ අසල තාප්පයකටද යකඩ ගේට්ටුවකට ද වෙඩි හය හතක්ම වැදී තිබෙන බවද පොලිසියට නිරීක්ෂණය වී තිබේ.

කටා රොෂාන්ගේ ඝාතනයේ ඇප මත සිටි සැකකරුවන් දෙදෙනෙක් එසේ ඝාතනය වන විට මෙතෙක් ඇප නොලබා බන්ධනාගාරගතව සිටින සැකකරුව ද ඊයේ අධිකරණයට රැගෙන විත් තිබී ඇත. ඔහු බන්ධනාගාර නිලධාරින්ට පවසා ඇත්තේ යම් පුද්ගලයෙක් තමාව බන්ධනාගර බස් රථයේ සිට අධිකරණ ශාලාවට රැගෙන යන විට අතින් සංඥාවක් කර තර්ජනය කළ බවය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම වෙඩි තැබීම පිටුපස සිටින කාන්තාව මත්කුඩු ජාවාරම්කාරියත් බවත් ඇය හික්කඩුවේ පදිංචිව සිටින බවත් පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එම කාන්තාව ඝාතනය වූ කටා රොෂාන්ගේ සමීපතම ඥාතිවරියක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරනු ලබන්නේ මෙම වසරේ මුල් මාස 09 තුළ රට තුළ ඝාතන 435ක් සිදුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published.