නොවැම්බර් 08 පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණයක්

2022 නොවැම්බර් 8 පුර පසළොස්වක පොහොය දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත. 

කෙසේ වෙතත්, මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස  බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 1.32 ට වන අතර ග්‍රහණ උපරිමය පස්වරු 4.29 ට ත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වේ. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි අතර පියෙවි ඇසට පෙනෙන අර්ධචන්ද්‍රග්‍රහණ  අවධිය පස්වරු 6.19 ට අවසන් වන බව ද  මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස ද හැඳින්වේ.

මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව ශ්‍රී ලංකාව තුළ දැකිය නොහැක්කේ එම අවස්ථාවේ චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටා ඇති බැවිනි. චන්ද්‍රයා ක්ෂිතිජයට ආසන්නව පිහිටා ඇති විටෙක දී ලංකාවේ අපට ග්‍රහණය දිස් වීම ආරම්භ වන බැවින් චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක බලා ගැනීම සඳහා උස් ස්ථානයක් තෝරා ගැනීම හෝ නැඟෙනහිර-ඊසාන දෙසින් බාධාවකින් තොරව අහස පෙනෙන ප්‍රදේශයක් සොයා ගැනීම වඩාත් සුදුසු බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

සියලුම පුර පසළොස්වක චන්ද්‍රයින් ට ජනප්‍රිය අන්වර්ථ නාම ඇත. නොවැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා නොවැම්බර් 7 ට පෙර වැටෙන්නේ නම්, එය දඩයක්කාරයාගේ චන්ද්‍රයා ලෙස හැඳින්වේ. එසේ නොමැති නම්, මෙම වසරේ මෙන්, එය පූර්ණ බීවර් චන්ද්‍රයා ලෙස හැඳින්වේ. බීවර් යන නම ලැබී ඇත්තේ ලෝකයේ උතුරු ප්‍රදේශයේ බොහෝ රටවල ඇති සතුන් විශේෂයක් වන බීවරයින්, එළඹෙන සීතල මාස සඳහා ඔවුන්ගේ ගුහා සකස් කර ආහාර ගබඩා කරන කාලය නිසාය.

“රුධිර චන්ද්‍රයා” යන අන්වර්ථ නාමය අදුරු පැහැයෙන් තොර තැඹිලි-තඹ රතු පැහැයට හුරු පූර්ණ චන්ද්‍රග්‍රහණ හැඳින්වීම්ට යොදනු ලබයි.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14වැනිදා ය.

Leave a Reply

Your email address will not be published.