ශ්‍රී ලංකාවේ තත්ත්වය ණයහිමියන්ට පැහැදිලි කෙරේ

ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා හැකි ඉක්මණින් පියවරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සමග අද (03) පැවැති විශේෂ සාකච්ඡාවේදී ඔහු මේ බව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සහ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

“ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රියාවලියේ දී ද්විපාර්ශ්වික හවුල්කරුවන් අප වෙත අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ අපගේ ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරනු ඇති අතර මෙය වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට සහ අපගේ වර්ධන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට උපකාරී වනු ඇත. මෙම රජය සමාජ හා ආර්ථික සමෘද්ධිය නැවත ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර අපගේ පුරවැසියන්ට තීරණාත්මක මහජන සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍යමය ආරක්ෂාව නැවත වර්ධනය කරනු ඇති. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබුණු මෙම ඵලදායී රැස්වීමට එක්වීම පිළිබඳව මම නිල ණයහිමියන්ට ස්තූතිවන්ත වෙනවා.”

“2022 සැප්තැම්බර් 01වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණා.”

“අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම වැඩසටහන මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය යථා තත්ත්වයට පත් කිරීම, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන අතරම තිරසාරභාවය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අපේක්ෂා කරනවා. මෙම ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව තිබෙන්නක්.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉලක්කගත ප්‍රතිසංස්කරණ වටා කේන්ද්‍රගත වී ඇත. ඒ අනුව රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කරුණු හතරක් මත පදනම් වෙයි.

පළමු කරුණ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයයි. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමග ඒකාබද්ධව, රාජ්‍ය ව්‍යවසායවලින් පැනනගින මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලි මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම සමග ඒකාබද්ධව ඉලක්කගත ආදායම් පදනම් කරගත් මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන මගින් පුරෝකථනය කරයි.

වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පවතින සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම ද ඊට ඇතුළත් ය.

දෙවන කරුණ වනුයේ, රජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන ලෙස සලකනු ලැබ ඇති අතර, විස්තීර්ණ ණය පහසුකමක් මගින් ඒ සඳහා අවධානය යොමුකර ඇත.

තෙවනුව, මෙම වැඩසටහන මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර ආරක්ෂාව නැවත ගොඩනැගීම අරමුණු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නුදුරේදීම ස්වාධීනත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන පනතක් සම්මත කිරීමට නියමිතය.

ඒ අනුව ස්වාධීනත්වය ශක්තිමත් කරන සහ එහි ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන මහ බැංකු පනතක් සම්මත කරගැනීමට නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

වැඩසටහනේ සිව්වන කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා ප්‍රධාන කොන්දේසියක් වන මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමය. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වී ඇති බව සහතික කිරීම සහ එහි රාජ්‍ය බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව සහ පාලනය ශක්තිමත් කිරීම මගින් මෙය සාක්ෂාත් කරගනු ඇත.

මෙම කරුණුවලට අමතරව, ශ්‍රී ලංකාවේ නීතිරාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මාලාවක් රජය විසින් හඳුන්වා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.