ගෑස් මිලේ වෙනසක්

ගෑස් මිල සංශෝධනය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (04) පවසා ඇත.

ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් රට තුළ ගෑස් ප්‍රශ්නයක් මතු නොවන බවට සහතික විය හැකි යැයිද ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර් සොයා ගැනීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායමට තිබෙන්නේ යැයිද හෙතෙම කීවේය.

මේ මස පමණක් ගෑස් මෙට්‍රික්ටොන් 28,000ක් ලැබීමට නියමිත මෙන්ම ලබන ජනවාරි මස දක්වා ගෑස් ඇණවුම්වලට මුදල් ගෙවා ඇති බව කී මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගම සතුව මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 2,000කට වැඩි තොගයක් ඇති බවද කීවේය.

වෙළෙඳපොළේ මේ වන විට පවතින ගෑස් හිඟයට හේතුව අලෙවි නියෝජිතයන්, මිල අඩු වන බවට පළ වන වාර්තා සැලකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම පමා කිරීම යැයිද හෙතෙම කීවේය. අද (05) පැමිණීමට තිබූ ගෑස් නැවක් හෙට (06) එන්නට තිබෙන බව කී ඒ මහතා මුහුදේ ස්වාභාවය අනුව ප්‍රමාදයක් වුවහොත් මිස එහි ප්‍රමාදයක් නොවන බවද කිවේය.

ඒ අනුව ඉරිදා අලුයම එපික් බොලිවර් කියන නැවද පසුව සෙන් හාර්මිනි කියන නැවද අනතුරුව සඳුදා සවස එච්.ජී. පෙට්‍රියාස් කියන ගෑස් රැගත් නැව් පැමිණීමට නියමිතයි.

අපි නොවැම්බර් මාසයේ ගෑස් මෙට්‍රික් ටොන් විසිඅටදහසකට ආසන්න ගෑස් ප්‍රමාණයක් ඇණවුම් කර තිබෙනවා. ලබන ජනවාරි මාසයේ මැද වෙනකල් ගෑස් ඇණවුම් කරලා ඒවා ස්ථිර කර තිබෙනවා. දැනට අපි ලෝක බැංකු ණය ගෙවා අවසන් වෙනවාත් සමඟ ඒ ආකාරයට එම ගෙවීම ගෑස් සඳහා යොදාගෙන අඛණ්ඩව කරගෙන යනවා. ඒ නිසා කිසිම ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා ඉතා වගකීමෙන් කියනවා.

Leave a Reply

Your email address will not be published.