ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව ගැන ජානකීගෙන් තවත් තොරතුරු

අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළාය.

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීමේ චෝදනා මත ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අත්අඩංගුවට ගත්තේය.

පසුව තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචා 2 ක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අද අලුත්කඩේ අංක 3 මහෙස්ත්‍රාත් අධිකරණය වෙන ඉදිරිපත් කළේය.

එහිදී ඇයව අධිකරණය වෙත රැගෙන ආවේ මාංචු සහිතවය. 

අතිරේක මහෙස්ත්‍රාත් ශිලනී ‍පෙරේරා හමුවේ නඩුව කැඳවූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, තිළිණි ප්‍රියමාලි සිදුකළ බව කියන රුපියල් මිලියන 226ක හා රුපියල් මිලියන 80ක මූල්‍ය වංචා 2 කට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනව අත්අඩංගුවට ගත් බවය.

තිළිණි ප්‍රියමාලි වංචා කළ බව කියන රුපියල් මිලියන 226ක මුදල, පැමිණිලිකරු විසින් ඇය හමුවේ ආයෝජනය කිරීමට පූර්ණ වශයෙන් පොළඹවා ඇත්තේ ජානකී සිරිවර්ධන විසින් බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය විසින් පැමිණිලිකරුට පවසා ඇත්තේ තිළිණි ප්‍රියමාලි හමුවේ මුදල් ආයෝජනය කර ඉන් ප්‍රතිලාභ ලබාගත හැකි බවය.

එමෙන්ම තිළිණි ප්‍රියමාලිට ලැබී ඇති මුදල්වලින් මිලියන 80ක් පමණ ලබාදී ඇත්තේ ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයේදීය.

ඒ අතරින් මුදල් කොටසක් ජානකී සිරිවර්ධනට ලැබී ඇති බවත් ඉන් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 55ක් පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණ විය.

එහිදී විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ එම මුදලින් රුපියල් මිලියන 80ක මුදලක් ශාන්තිකර්මයක් සඳහා කට්ටඩියෙකුට ලබාදී ඇති බවය. 

එමෙන්ම තිළිණි ප්‍රියමාලි ලබාදුන් මුදල් ජානකී සිරිවර්ධන ඇයගේ පෞද්ගලික පරිහරණය සඳහා ද යොදවා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය. 

තිළිණි ප්‍රියමාලිගේ දුරකථනය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබූ හඬපටවලින් ජානකී සිරිවර්ධන මුදල් ලබාගෙන ඇති බව තහවුරුවන බවත් අධිකරණය හමුවේ අනාවරණ විය.

මේ අතර, තවත් රුපියල් මිලියන 5ක මුදලක් පැමිණිලිකරුවකුගේ නිවසට ගොස් සැකකාරිය විසින් ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේය.

ඔවුන් පැවසුවේ පැමිණිලිකරුවන් මුලාකිරීම පූර්ණ ලෙසම සැකකාරිය විසින් සිදුකර ඇති බවය.

ජානකී සිරිවර්ධන විසින් තිළිණි ප්‍රියමාලිට පැමිණිලිකරුවන් හඳන්වාදීම පමණක් නොව ඇයගේ මුදල් ද පරිහරණය කර තිබේ.

ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ආයතනයට මුදල් ඉන්දියාවෙන් ලැබෙන බවත් පසුගිය කාලය පුරාම ඊට ඉන්දියාවෙන් මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එමෙන්ම එහි සේවකයන්ට මසකට වැටුප් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය වන බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ජානකී සිරිවර්ධන තමන්ට ලැබුණු මුදල් යෙදවූවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

රුපියල් මිලියන 80ක් කට්ටඩියෙකුට ලබාදීමත් රුපියල් මිලියන 55 වෙනත් පුද්ගලයෙකුට ලබාදීමත් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකෙරෙන බැවින් සැකකාරියට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම සැකකාරියට ඇප ලබාදීමක් සිදුකළොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැයි බව ද ඔවුන් පැවසීය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සැකකාර ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

තිළිණි ප්‍රියමාලි හා ජානකී සිරිවර්ධන එකම බන්ධනාගාරයක නොතබන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීම අධිකරණය මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.