ධනුෂ්කගේ නඩුව ගැන නීතිඥවරයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවන්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියාචනයක් ගොනුකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතා පවසයි.

එසේම අදාළ නඩු විභාගය මාධ්‍යවේදීන් නොමැතිව පැවැත්වීමට කළ ඉල්ලීමට විරෝධය පලකළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිකරගත හැකි බැවින් වරද පිළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතා වැඩිදුරටත් පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතා,

“දැන් මේකට අපි අභියාචනයක් කරන්නයි යන්නේ. අභියාචනය පැය 24 ක් හරි පැය 48ක් ඇතුළත ගොනුකරන්න ඕන. ඒ ගැන අපේ නීතිඥ ආනන්ද අමරනාත් මහත්මයා වැඩකරගෙන යනවා. අභියාචනයට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස් හි හිටපු නීතිපතිවරයාවත් මේකට ඇතුළත් කරගන්න. අභියාචනය සුමානයකින් විතර ගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12. නඩුව සෑහෙන්න දවසක් එතකොට ඉස්සරහට ඇදෙයි. අධිකරණයේදී ඔවුන් ඉල්ලා හිටියා මේ නඩුව කැඳවන්න කියලා මාධ්‍යවේදීන් නැතුව, නමුත් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා. හැමෝටම දැනගන්න ඕන මොකක්ද වුණේ කියන එක. නැතුව හංගලා මේක අහන්න බැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. අපි බොහොම පැහැදිළිව ස්ථාවරයක ඉන්නවා වැරැද්ද පිළිනොගෙන ඉන්න. දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුවත් සිද්ධි දාමය දිහා පැහැදිළිව බැලුවාමත් අපිට හිතෙනවා මේක දින්නන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නෑ වරද පිළිගන්න.”

මේ අතර ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක් වූ ධනුෂ්ක ගුණතිලකට සියලුම මාදිලියේ ක්‍රිකට් තරග අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද තීරණය කළේය.

ඒ සිඩ්නි හි ප්‍රාදේශීය අධිකරණය ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අද ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

මේ අනුව තවදුරටත් ඔස්ට්‍රේලියා පොලිස් අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක සිඩ්නි හී සිල්වර්වෝටර් බන්ධනාගාරය වෙත යොමුකළ බව එරට මාධ්‍ය වාර්තාකරයි.

T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ අලුයම එකට පමණ ඔස්ට්‍රෙලියා පොලීසියේ අත්අඩංගුවට පත්විය.

ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.

අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලක Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණත් එහිදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ අනුව සිඩ්නි හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක අද දෙවන වරට Sydney City පොලිසිය විසින් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශිය උසාවිය වෙත ඉදිරිපත් කෙරුණේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.

ධනුෂ්ක අළු පැහැති ටී – ෂර්ටයක් හැඳ අධිකරණය හමුවේ පෙනී සිටි බවත් ඔහු අධිකරණය ඉදිරියේ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් කතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ ධනුෂ්කගේ දෑතට මාංචු යොදා ඇති අකාරයද නිරීක්ෂණය වු බවය.

ඒ අනුව ඩව්නිං සෙන්ටර් ප්‍රදේශිය උසාවියේ මහේස්ත්‍රාත් රොබට් විලියම් හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇප ඉල්ලීමක් සිදුකර තිබේ.

කෙසේ වෙතත් ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු රජයේ නීති මෑතකදී දැඩිකර තිබීම සහ සැකකරු විදේශීය පුද්ගලයෙකු වීම යන කාරණා පදනම් කරගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.