ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප අයදුම්පතක්

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සඳහා නැවතත් ඇප අයදුම්පතක් එළඹෙන සිකුරාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති චානක සේනාරත්න මහතා පවසයි.

එමෙන්ම ධනුෂ්ක ට එරෙහිව ගොනුකළ පැමිණිල්ලේ ලේඛනවල පවතින පරස්පරතාවයන් පිළිබඳව සහ එම නඩුව ආවරණය කිරීමට මාධ්‍ය වෙත අවස්ථාව ලබානොදීම පිළිබඳ එල්ල වූ විරෝධතාව සලකා බැලීම සඳහා අදාළ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් චානක සේනාරත්න මහතා පැවසුවේ, ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ ප්‍රධාන නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ ජනවාරි 12 වැනිදා බවය.

“බේල් ඇප්ලිකේෂන් තීන්දුවට එරෙහිව අභියාචනයක් සුප්‍රින්කෝට් උසාවියේ ෆයිල් කරනවා. නමුත් හොයලා බලපුවාහම ඒකට කාලය යනවා වැඩී. එම නිසා අපි තීරණය කරා දෙවැනි ඇප්ලිකේෂන් එක මහෙස්ත්‍රාත් උසාවියේම වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේදී කඳවීමට ඉල්ලීමක් කරන්න. ඒක බොහෝම ඉක්මනින් ගන්න පුළුවන්. මම හිතන්නේ සිකුරාදා වෙනකොට ඒක හරියනවා. එහෙම වුණොත් සිකුරාදා හෝ සඳුදා නැවතත් නඩුව ඉස්සරහට ගන්න වෙනවා. මේක සිද්ධිය වුණේ බදාදා. ඒ අය පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ සෙනසුරාදා. සෙනසුරාදා රෑ අපේ ටීම් එක ලංකාවට එන්න පිටත්වෙනවා. පොලීසියටත් තිබුණේ නෑ එතරම් අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඉවරවෙලා අත්අඩංගුවට ගන්න. අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගත්තේ නැත්නම් යනවා. පොලීසියට සිදුවුණා එදා රෑ අත්අඩංගුවට ගන්න. කේස් එක ඉදිරියට ඇදීගෙන යද්දි ඒ අයට පේනවා නම් මේක ඉදිරියට ගෙනියන්න තරම් සාක්ෂි මදි, නඩුව වැටෙන්න යන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔවුන් ඉල්ලා අස්කර ගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. මේක දිනන්න පුළුවන් නඩුවක්. ධනුෂ්ක ගුණතිලක තනිකඩයෙක්. DATING APP කියන්නේ මිනිස්සු හොයන්න ගෑනු අය යන තැනක්. ඒ තැන එයා ඉන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම මිනිස්සු හොයනවා. ඒකට යෑමට කිසිදු නීතිමය බාධාවක් ඔහුට නෑ. මෙහාට ගෙනාවට පස්සේ ඕන දඬුවමක් දෙන්න පුළුවන්. දඬුකඳේ හරි ගහන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලාම ඔහුව බේරගන්න ඕනේ.”

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි තරුණියක් ගොනුකළ ලිංගික අතවර චෝදනාවක් හේතුවෙන් එරට පොලිසියේ අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියා අධිකරණයෙන් ඇප ලබාදීම ප්‍රතික්ෂේපවීම නිසා තවමත් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු වේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩව ඊයේ (08) ක්‍රීඩා අමාත්‍යංශය වෙත කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published.