වැඩි මිලට එන්නත් මිලදී ගැනීමේ විගණන සිද්ධියේ අලුත්ම කතාව

හෘද රෝග සඳහා භාවිත කරනු ලබන එන්නතක් ඇස්තමේන්තු ගත මුදලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට කරුණු  කිහිපයක් හේතු වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එන්නතක් රුපියල් 255කට වැනි මුදලකට ඇස්තමේන්තු ගත කර තිබිය දී එය රුපියල් 40,869 බැගින් එන්නත් 1,500කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් මඟින් තොරතුරු අනාවරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් අදාළ මාධ්‍ය වාර්තාවල ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය පෙන්වාදෙයි.

මෙම එන්නත ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන බවට වාර්තා කළ කර තිබුණද එය විශේෂයෙන් හෘද රෝගී සැත්කම් සඳහා ලබාදෙන එන්නතක් බව එම අංශය පැවසීය.

එන්නත සඳහා අදාළ ඇස්තමේන්තු ගත මුදල 2015 වසරේ දී තීරණය කරනු ලැබුවක් වන අතර එහි අදාළ මිලදී ගැනීම සිදුකර ඇත්තේ 2021 වසරේ දි බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විගණකාධිපති වාර්තාව මඟින් යෝජනා කර තිබුණ ද එම එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේය.

2015 වසරේ සිදුකළ ඇස්තමේන්තුවක් 2021 වසරේ මිලදී ගැනීමක දී එම මුදලටම අලෙවි කිරීමට අදාළ සමාගම් එකඟ නොවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සහ අලෙවි කල මිල ගණන් සම්බන්ධයෙන් එම විමර්ශනයේ දී අවදානය යොමු කිරීම සුදුසු බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වාදෙයි.

එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ගනුදෙනුවලට අදාළ නිරවද්‍ය ලේඛන සහ තොරතුරු කඩිනමින් අදාළ පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බව ද එම අංශය සඳහන් කළේය.

මෙම එන්නත දැඩි ඉල්ලුමක් පවතින එන්නතක් වන බැවින් සෞඛ්‍ය අංශයන් හි අරමුණ වන්නේ හිඟයකින් තොරව එම එන්නත් තොග පවත්වාගෙන යාම බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වාදෙයි.

එම ඉල්ලුම වාසියට ගෙන ඇතැම් ඖෂධ සමාගම් ද විවිධ අනපේක්ෂිත මිල ගණන් සඳහන් කරමින් ඉපයීම් සිදුකරන තත්ත්වයන් නිරීක්ෂණය වන අතර ගෝලීය තත්ත්වය මත ඖෂධ හෝ එන්නත් මිල ගණන් වෙනස් විය හැකි බවද එම අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.