ජැකලින්ගේ නඩු තීන්දුව 15ට කල් යයි

මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රකර්ට එරෙහිව එරට මූල්‍ය අපරාධ අංශය ගොනු කළ ඉන්දීය රුපියල් කෝටි දෙසීයේ මුදල් වංචා නඩුවේ විත්තිකාරිනියක වී සිටින ජනප්‍රිය බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට ඇප නියම කිරීම සම්බන්ධ නඩු විභාගය මේ මස 15 වැනිදාට කල් දැමීමට නවදිල්ලි අධිකරණය ඊයේ තීරණය කළේය.

මීට පෙර ඇයට අතුරු ඇප නියම කළ විශේෂ විනිසුරු ෂයිලෙන්ද්‍ර මලික් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඇගේ ඇප අයැදුම්පත සඳහා වන නියෝගය තවම සූදානම් නැති බවය. ඒ අනුව නඩුව 15 වැනිදාට කල් දමා තිබේ.

මේ වන විට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ඇපයකට සහ කොන්දේසි රැසකට යටත්ව අතුරු ඇප ලබා සිටින මේ ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලියගේ නඩු විභාගය පෙරේදා කැඳවූ අවස්ථාවේදී ඇයට ඇප නියම කිරීම පිළිබඳ ඉන්දීය මූල්‍ය අපරාධ අංශය දැඩි විරෝධයක් පළ කර තිබිණි.

විදෙස්ගත වීම තහනම් කරමින් අතුරු නියෝගයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය අපරාධ අංශය මීට පෙර කටයුතු කළද, ඇය අත්අඩංගුවට නොගැනීම එදින විනිසුරුවරයාගේ දැඩි අවධානයට යොමු වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් විනිසුරුගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක් වූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.