බිත්තර හිඟයක් ?

බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙකු අධිකරණ හමුවට පමුණුවා දඩ නියම කිරීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන බවයි. 

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ පවතින වෙළෙඳපොළ තත්ත්වය හමුවේ රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලු සහගත බවයි.

රුපියල් 55ක මිලක් ලබා දෙන්නේනම් වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය මගහැරෙනු ඇති බවද සරත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කිසිසේත් බිත්තර මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදෙන බවයි.

Leave a Reply

Your email address will not be published.