ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට ඉරානයේ රැකියා

ඉරානයේ පවතින රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපෝන්සු මහත්වරු අතර, විශේෂ හමුවක් අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (17) පැවැති අතර එහිදී මේ බව අනාවරණය විය.

මෙහිදී ඇමැතිවරයා ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වූ අපෝන්සු මහතාට සුබපැතුම් එක්කරන ලද අතර, අනතුරුව තානාපතිවරයා අමාත්‍යවරයාට කරුණු දක්වමින් කියා සිටියේ ඉරානයේ ප්‍රධාන වරායන් 6ක් පමණ පිහිටා තිබෙන බවත්, ඒවායේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීම පිළිබඳව ඉරාන රජය සමඟ සාකච්ඡා පවත්වන බවයි.

දැනටමත් අමාත්‍යාංශය විසින් නාවික, වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රයන්හි තරුණ තරුණියන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇති බව පැවසූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබන වසරේ මුල් මාස හය වන විට කණ්ඩායම් කිහිපයක් ඉරානයට එවීමට වැඩපිළිවෙළක් සැකසිය හැකි බව ද පැවසීය.

එමෙන්ම ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ සිට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීමටත් ඒ තුළින් ඉරානයේ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට එවීමටත්, ඉරානයේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින ඒජන්තවරුන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපෝන්සු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.