පොහොර බර අඩුවීමේ වරද තරාදිය ට පැටවෙයි

අනුරාධපුර ප්‍රදේශයෙන් අඩු බර සහිත පොහොර මිටි හමුවූ බවට වාර්තා වූ සිද්ධියට හේතුවී ඇත්තේ පොහොරවල බර මැනීමට උපයෝගී කරගත් ප්‍රමිතියෙන් තොර තරාදි බවට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ කමිටුව අනාවරණය කර තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ තිබී නියමිත බරින් අඩු යුරියා ‍පොහොර මිටි සොයාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එහි තොරතුරු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

අධිකරණ භාරයට ගත් පොහොර මිටි 14 හැරුණු විට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට යොමු කර තිබූ සෙසු පොහොර මිටි 486ක බර කිරා බැලීමේ දී ඉන් මිටි 479කම නියමිත බර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 50 ඉක්මවා පොහොර තිබූ බවට එහිදී හඳුනාගෙන ඇති බව සභාපතිවරයා පැවසීය.

කොකු යෙදීමේ දී ඇති වන පළුදු හේතුවෙන් මිටි 7ක පමණක් ග්‍රෑම් 100, 200 වැනි සුළු අඩුවක් පෙන්නුම් කළ බව ජගත් පෙරේරා මහතා පෙන්වා දෙයි.

සිදුකළ වැඩිදුර විමර්ශනවල දී පාරිභෝගික අධිකාරියේ නිලධාරියා විසින් බරකිරීම සඳහා යොදාගෙන ඇති තරාදිය ගබඩාව අසල නිවසකින් ලබාගත් සහතික නොකළ දුනු තරාදියක් බවට අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව අසත්‍ය තොරතුරු සමාජගත කළ සියලුදෙනා සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය පියවර ගන්නා බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.