ගම්මන්පිල ට රට යන්න අවසර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා එම නියෝග ලබා දී තිබේ.

ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙස ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාල සීමාව තුළ ගම්මන්පිල මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළේය.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබේ. 

Leave a Reply

Your email address will not be published.