විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක්

ආබාධ සහිත පුද්ගලයින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ හඳුන්වනු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය අදට (03) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වන මෙරට සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.

2020 – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබු ආබාධිත දරුවන් 10 දෙනෙකු වෙනුවෙන් මෙහිදී මූල්‍යමය පරිත්‍යාග පිරිණැමීමද ජනපති අතින් සිදු කෙරුණි.

එමෙන්ම ඉන්දියානු විවෘත ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල හා 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ජයග්‍රහණ ලැබුවන් සඳහා ද ජනපති අතින් සම්මාන ප්‍රදානය කෙරුණි.

ආබාධිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් සකස් කරන ලද යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිරිණැමුවේ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා විසින්.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“නැපෝලියන්ගේ නාවික හමුදාව පරාද කළ නෙල්සන් සාමිට තිබුණේ එක අතයි. ඒත් එතුමට පුළුවන් වුණා එදා ලෝකයේ තිබුණු බලවත්ම රාජ්‍ය පරාජය කරන්න.” 

“ඒ කියන්නේ මේ හැමෝටම යම් දක්ෂතාවයක් හැකියාවක් තිබෙනවා. ඒ තුළින් අපි ප්‍රයෝජනය ගන්න ඕනේ.” 

“මම යෝජනා කළා මේ පිරිස වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස් කරලා කැබිනට් මණ්ඩලයට දෙන්න කියලා. ඒ අනුව ඉදිරි අයවැය තුළින් අපිට අවශ්‍ය දේ සකස් කරගන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published.