ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට විශාල ඉල්ලුමක්

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර 2021 වසරේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර 382,560 ක් නිකුත් කර තිබේ.

ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398 ක් වන අතර එය 2020 වර්ෂයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව 2020 වසරේදී ගුවන් ගමන් බලපත්‍ර 209,411 ක් නිකුත් කර ඇති අතර ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 175ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.