හෙට සහ අනිද්දා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

හෙට (30) සහ අනිද්දා (31) යන දින දෙක විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

මේ වන විට දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

දෙසැම්බර් 26 වන දින විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් බව සඳහන්ය.

මෙම පවතින තත්ත්වය වැඩිදුරටත් වර්ධනය වුවහොත් ලබන ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා වාර්තා වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඩෙංගු රෝග කාරක වෛරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ගණත්වයව රටේ බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතිබව ද කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

එම නිසා හෙට සහ අනිද්දා යන දින දෙක විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනවල සියලුදෙනා තම නිවාස තුළ සහ නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published.