බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ අත්බෝම්බය ගැන වැඩිදුර විමර්ශන

බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. 

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය.

පවිත්‍රතා සේවකයෙකු වන අදාළ සැකකරු මොරොන්තුඩුවේ සිට රැගෙන ආ ජීව අත්බෝම්බයක් පොලීතින් බෑගයක දමා බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස්රථ නැවතුම් පොළක් අසල එලෙස ගසක එල්ලූ බවට සැක කෙරෙයි.

බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බව අදාළ සැකකාර පවිත්‍රතා සේවකයා විසින්ම පොලීසිය වෙත තොරතුරු ලබාදීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු  එම ක්‍රියාව ඔහු විසින් සිදුකළ බවට අනාවරණයවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

අත්අඩංගුවේ පසුවන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී, මොරන්තුඩුව මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බවත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් අනතුරුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලු බව ඔහු පවසා තිබේ.

65 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් විමර්ශනවලදී නිවරැදි තොරතුරු අනාවරණය නොවුණහොත් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත විමර්ශන භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.