ඉන්දීය යුධ නෞකාවක් ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS DELHI” යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (15) ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බව නිවේදනය කළේය.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Destroyer වර්ගයේ යුද නෞකාවක් වන “INS DELHI” දිගින් මීටර් 163.2 ක් හා නැව් මුළුව 390කගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් කටයුතු කරනු ලබයි.   

“INS DELHI”නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් හෙට (16) දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදුකිරීමට නියමිතව ඇත. 

තවද, නෞකාව දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය හා දැනුම වර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගිවීමට මෙන්ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.

මෙරට නාවික හමුදා පුද්ගලයන් නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ පුහුණු නිරීක්ෂණ සංචාරයකද නිරතවීමට නියමිතව ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි. 

“INS DELHI” නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් ජනවාරි මස 17 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.