ඉන්දියාවෙන් මෙරටට තවදුරටත් සහාය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ඉන්දීය හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ වර්තමාන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට සහායවීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බවය.

මෙම දෙදින සංචාරයේදී, බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, වර්තමාන විනිමය හුවමාරු ණය පහසුකම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවන බවත් හින්දු පුවත්පත සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය වසරේදී ඉන්දියාව ලබාදුන් සහාය අනුව යමින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීමට ඉන්දියාව අපේක්ෂා කරන බවය.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරේදී විනිමය හුවමාරු ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදුනි.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයේදී ත්‍රිකුණාමල සංවර්ධන ඒකාබද්ධ ව්‍යාපෘතිය සහ ඉන්දීය බලශක්තිය මෙරටට සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුම් අස්සන් තැබීමට නියමිත බවද පුවත්පත  වාර්තාකර තිබේ.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදලක් ලබාගැනීම සඳහා, ඉන්දියාවෙන්ද ශ්‍රී ලංකාවට ණය සහතිකයක් ලිඛිතව ලබාදීම අත්‍යවශ්‍ය බව ඉන්දීය රජය අවබෝධ කරගෙන සිටින බව එහි අවධාරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.