පෙළ පොත් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළ පොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. 

එම අත්තිකාරම් මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මඟින් ඉල්ලුම් කරන ලද මුද්‍රණාල වෙත ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

ඒ අනුව මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් ම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර මුද්‍රණය කරන ලද තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබෙමින් පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

ඉතිරි අත්තිකාරම් සඳහා අක් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යතුමා මැදිහත් වී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඉන් කොටසක් ලබාදීමට මහා භාණ්ඩාරගාරය එකඟතාව පළ කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව ඉදිරි සතිය තුළ දී දැනට බිල්පත් ඉදිරිපත් කර ඇති මුද්‍රණාලවල බිල්පත් සඳහාත්, අත්තිකාරම් මුදල්වලින් මුද්‍රණාල සඳහා ගෙවීමට ඉතිරි වී ඇති කොටස සඳහාත් මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. 

පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.