මැතිවරණ දිනය ගැන දැන්වීම දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පළාත් පාලන මැතිවරණයකදි මැතිවරණ දිනය ඇතුළු එහි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් තේරිම් භාර නිලධාරීන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශයට පත් කළ යුතු අතර ඔවුන් විසින් ඒවා මුද්‍රණාලය වෙත ලබාදිය යුතු වේ.

මැතිවරණ පනත අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම්දීම සිදුකරනු ලබයි.

ඒ අනුව මැතිවරණ දිනය, වේලාව, පක්ෂවල නම් සඳහන් කරමින්  අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කරනු ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු පෙබරවාරි මස මුල් සතියේ දී ආරම්භ කෙරෙන බව මුද්‍රණාලය සඳහන් කළේය.

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත අතර 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් කෝටි 20ක මුදලක් වැය වී ඇති බව මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව මෙම වසරේ දී මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් වැය වනු ඇති බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.