විදෙස් අමාත්‍යවරු පිරිසක් ජනපති හමුවෙති

75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකට සඳහන් කළේ, ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා  පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බවය.

එහිදී‍ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු ව තිබේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති එම පියවර පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ කළ ඇත.

නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට මෙරටට පැමිණි භුතානයේ අධ්‍යාපන හා 
නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර සංචාරක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් මහතා අතර හමුව ඉන් අනතුරුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සබඳතා තවදුරටත් 
වර්ධනය කර ගනිමින් මිත්‍ර රාජ්‍යයන් ලෙස සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ බංග්ලාදේශ රජය ලබාදුන් සහාය පිළිබඳ ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි (කා)ර් මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කළ පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙඳ, සංචාරක සහ ආගමික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් මහත්මිය අතර හමුව ඉන් අනතුරුව සිදුවිය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා  ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නේපාල විදේශ අමාත්‍යවරිය දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියාය.

මේ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්විය.

Leave a Reply

Your email address will not be published.