භූ කම්පනය මැද ලොවම මවිත කළ අයාට විශාල ඉල්ලුමක්

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් සිව්දෙනා ද භූකම්පනයෙන් මියගොස් තිබුණි.

රෝහලට රැගෙන එන විට සීරීම්, තැලීම් හා අධික සීතල හේතුවෙන් ශ්වසන අපහසුතාවෙන් පෙළුණු දැරියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

දැරිය හදා වඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අදාළ රෝහල වෙත ද දුරකථන ඇමතුම් දහස් ගණනක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් දැරියගේ ඥාතියෙකු පැමිණෙන තෙක් දැරිය රැකබලා ගැනීමේ වගකීම තමා විසින් භාරගන්නා බවට රෝහල් කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇති අතර කුඩා දරුවෙකුගේ පියෙකු වන ඔහුගේ බිරිඳ විසින් දැරියට මව්කිරි ලබාදීම ද සිදුකරන බවය. 

මේ අතර තුර්කියේ සහ සිරියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය සඳුදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් තුර්කියේ මරණ 17,674ක් සහ සිරියාවේ මරණ 3,377ක් සිදුව ඇති බවයි වාර්තා වෙයි.

තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවන අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

තුර්කියේ හතායි ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 79ක පමණ කාලයක් සිරව සිටි වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙකු මුදාගැනීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 

Leave a Reply

Your email address will not be published.