ආයුධ අතැතිව නිවසට කඩා පැන්න කොල්ලකරුවෝ

ආයුධ අතැතිව නිවැසියන් බියගන්වා ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ සැකකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 6වනදා මෙම කොල්ලකෑම සිදුව ඇති අතර ඊට දින කිහිපයකට පෙර නිවෙස්හිමියා විදෙස්ගතව සිට නිවසට පැමිණ ඇත.

නිවැසියන් වන්දනා චාරිකාවක් ගොස් නැවත් නිවසට පැමිණ ඇත්තේ පසුගිය 6 වනදා රාත්‍රියේ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

ඔවුන් නිවසට පැමිණ මද වේලාවක් ගත වෙනවාත් සමගම එම කොල්ලකරුවන් තියුණු ආයුධ අතැතිව නිවසට ඇතුළු වී යුවළගේ අත් පා සහ කට ගැටගසා නිවසේ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකා පළාගොස් ඇත.

එම කොල්ලකෑමේ ප්‍රධාන සැකකරු පෙදරේරුවෙකු වන අතර ඔහු මෙම නිවස ඉදිකරන අවස්ථාවේ වසර කිහිපයක් පුරා ඉදිකිරීම් කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව රුපියල් ලක්ෂ 25කට අධික කොල්ල කෑ රන් භාණ්ඩ සහ දෙපළ ඔහුගේ නිවසේ පිටුපස වළදමා තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

එම පිරිස කොල්ලකෑම සඳහා පැමිණ ඇත්තේ ත්‍රී රෝද රථයකිනි.

එම ත්‍රී රෝද රථය ද, සැකකරුවන් විසින් සොරකම් කළ එකක් බව අනාවරණය වී තිබේ.

සැකකරුවන් විසින් පානදුර මහවිල ප්‍රදේශයේ දී මෙම ත්‍රී රෝද රථය කුලී පදනම මත ලබාගෙන, පසුව එහි රියදුරුව බියගන්වා ඔහුට මරණීය තර්ජනය කර පාළු නිවසට රැගෙන ගොස් අත් පා ගැට ගසා දමා ත්‍රී රෝද රථය රැගෙන පළාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් පානදුර මොරවින්න, දිබ්බැද්ද ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් තදබල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තීබේ.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.