ජීවත්වීමට වැටුප මදිවී ත්‍රිවිල් සොරකම් කළ කොස්තාපල්

පැහැරගත් ත්‍රිරෝද රථයක් කොටස්කර විකිණීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු මෙම ත්‍රිරෝද රථය කොටස් කර විකිණීම සඳහා පයාගල ප්‍රදේශය ට ගෙනැවිත් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් බව අනාවරණය වී තිබුණි.

සැකකරු රැගෙන ආ ත්‍රිරෝද රථය පරික්ෂා කිරීමේදී ඔහු ඉදිරිපත් කළ ලිපි ලේඛන වලට ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සමාන වී තිබුණි.

නමුත් එහි චැසි අංක සහ එන්ජින් අංක එම ලිපි ලේඛන සමග තවදුරටත් සැසදීමේදී එම තොරතුරු නොගැලපී ඇති අතර එය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණය වී ඇත.

සැකකරු මෙම ත්‍රිරෝද රථයට සවිකර ඇත්තේ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය බවත් රැගෙන ආ ලිපි ලේඛන ද එම රථයේ ම ලිපි ලේඛන බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ අදාළ එම පුද්ගලයාගෙන් ඒ පිළිබඳ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ ඔහුට  අයත් මෙම ත්‍රිරෝද රථය වසරකට පෙරදී වාහන අත්පත් කරගන්නා පුද්ගලයන් යැයි පැවසූ පිරිසක් පැහැරගෙන ගිය බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් 5,000ක් පමණක් ඉතිරි වන බැවින් මිතුරන් පිරිසක් සමග එකතුව සොරකම් කිරීම සඳහා යොමුවූ බවය.

පයාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.