සුමන හිමි නිදොස්කොට නිදහස්

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා තුනක් යටතේ ගොනුකර තිබූ නඩුවකින් පූජ්‍ය දිවිතුරේ සුමන හිමි නිදොස්කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත.

2009 වර්ෂයේදී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට එම හිමිට චෝදනා එල්ලවිය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ බාලවයස්කාර පිරිමි දරුවා විසින් සිය සැර පරුෂ මවගෙන් බේරීම සඳහා පැවසූ ව්‍යාජ තොරතුරක් මෙලෙස දුරදිග ගොස් ඇති බවය.

අදාළ සිදුවීම වූ බවට සඳහන් වන දිනයේ එම දරුවා උපකාරක පන්තියකට සහභාගී වන බවට පවසා නිවසින් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් එදින එම දරුවා උපකාරක පන්තියට සහභාගී නොවී ඇති අතර මිතුරන් සමඟ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොස් ඇති බව පසුව සඳහන් කර තිබේ.

එසේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිය මව මුණගැසුණු බවත් ඇය සැර පරුෂ බැවින් මෙලෙස තමන් පන්සල වෙත ගිය බව පැවසූ බවත් සඳහන් කර ඇත.

අදාළ චෝදනා අනුව සිදුකළ පොලිස් විමර්ශනවලදීදී එවැනි අපයෝජනයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හෙළිදරව් නොවීමත් චෝදනා එල්ලවූ මුල් අවස්ථාවේ සිටම එම හිමි නම විසින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමත් දරුවා විසින් එදින එවැනි සිදුවීමක් නොවූ බවට පැවසීමත් යන කරුණු සලකා බලා අධිකරණය මෙලෙස එම හිමි නම නිදොස්කොට නිදහස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.