ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ගොනුකළ පෙත්සම ගැන අධිකරණ තීරණයක්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට අද (07) අවසර ලබාදී තිබේ.

ඉන්දීය ණය ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයට දන්වා සිටියේ එම පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසය. 

ඒ අනුව, සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා වගඋත්තරකරුවන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 24 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් ෆාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පුද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවය.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දුන් පෙත්සම්කරුවන්  එම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් චෝදනා කර තිබේ.

එමෙන්ම අදාළ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පිළිගත් ප්‍රසම්පාදන පටිපාටිය අවභාවිතයට ලක්කර ඇති බවටත් පෙත්සමින් චෝදනා කර ඇත.

ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව මිලදී ගැනීමට නියමිත ඖෂධ සඳහා ගෙවීම් සිදුකිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published.