ඉහළ අහසේදී රුසියාව සහ අමෙරිකාව ගැටෙයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට ඉහළ අහසේ දී ගැටී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය.

ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධා එල්ල කළ බව අමෙරිකාව පවසයි.

ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරන්නේ, රුසියාවේ SU 27 ප්‍රහාරක යානා වගකීම් විරහිතව කටයුතු කරමින්, අවස්ථා කිහිපයකදීම ඩ්‍රෝන යානාව වෙත ඉන්ධන මුදාහැර ඇති බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා කැඳවීමටත් අමෙරිකානු රජය කටයුතු යොදා තිබුණි.

ඉතාමත් සමීපයෙන් ගමන් කරමින් සිටියදී යානා එකිනෙක ගැටුණු බව මීට ප්‍රතිචාර ලෙස රුසියාව පවසයි.

තම යානා හිතාමතාම ඩ්‍රෝන යානයේ ගැටුණු බවට එල්ල වන චෝදනා ද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

එමෙන්ම රුසියාව වැඩිදුරටත් පෙන්වා දුන්නේ අමෙරිකානු ඩ්‍රෝන යානාව සංඥා මඟ හැරීමේ උපක්‍රම භාවිත කරමින් සිටි බවය. 

යුක්‍රේන යුද්ධය මුල්කරගෙන අමෙරිකාව සහ රුසියාව මේ වනවිට සීතල යුද්ධයකට මුලපුරා සිටී.

යානා දෙක එකිනෙක ගැටී තිබුණේ ද යුක්‍රේනයට සමීප කළු මුහුදට ඉහළ අහසේ දීය.

මෙම සිදුවීම රාජතාන්ත්‍රික අර්බුදයක් කරා දික්ගැස්සීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published.