2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට  12.4 ක අගයක් වාර්තා කර ඇති බවය.

2021 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක ධනාත්මක අගයක් ගෙන තිබූ අතර එම වසරේ සිව්වන කාර්තුවේ වර්ධන වේගය සියයට 1.4ක් ලෙස දැක්වූණි.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබේ.

කෘෂිකාර්මික කටයුතුවල සියයට දශම 9ක වර්ධනයක් 2021 වර්ෂයේදී පෙන්නුම් කර තිබූ අතර එය 2022 වර්ෂයේදී සියයට 4.6ක පසුබැස්මක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2021 වර්ෂයේ සියයට 5.7ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබූ කර්මාන්ත ආර්ථික කටයුතු 2022 වර්ෂයේදී සියයට 16ක සැළකිය යුතු පසුබෑමක් වාර්තා කර තිබේ.

2021 වර්ෂයට සාපේක්ෂව සේවා ආර්ථික කටයුතුවල සියයට 2ක පසුබෑමක්  2022 වර්ෂයේදී සිදුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම හා ඊට සමගාමීව සිදුවූ පොළි අනුපාතික ඉහළ යාම, දේශීය හා ගෝලීය වශයෙන් සැපයුම් අංශයෙන් සිදු වූ අඩාල වීම් සහ උද්ධමනය සැළකිය යුතු ලෙස ඉහළ යාම 2022 වර්ෂයේ දුර්වල ආර්ථීක කාර්යය සාධනය කෙරෙහි බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.