එළවළු මිලේ දැවැන්ත වෙනසක්

එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

ඒ අනුව රුපියල් 400කට අලෙවි කෙරුණු බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 දක්වාත්, රුපියල් 700කට අලෙවි කෙරුණු මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 250 දක්වාත්, කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත්, ගෝවා කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 සිට රුපියල් 50 ක් පමණ දක්වාත් පහත වැටී තිබෙනු දක්නට ලැබුණි.

මේ අතර, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයට ලැබෙන තොග ප්‍රමාණය ඉහළ යෑමත් සමග එහි මිල ගණන්ද පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 20 ත් 25ත් අතර, බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 ත් අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, වම්බටු කිලෝවක් රුපියල් 150 කට සහ ලීක්ස් කිලෝවක් රුපියල් 140 කට ආදි වශයෙන් අඩු මිලට අලෙවි වනු දක්නට ලැබේ. 

එමෙන්ම තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු තොග මිල පහළ ගොස් ඇත.

වෙළෙඳුන් පැවසුවේ, උඩරට සහ පහතරට එළවළු තොග ලැබීම් ඉහළ යෑම ඊට හේතුව බවය.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැසුවේ අප්‍රේල් පළමු වනදා සිට 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවළු, පලතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට පමණක් අවස්ථාව සලසාදෙන බවය.

Leave a Reply

Your email address will not be published.