විශේෂඥ වෛද්‍යවරුන්ගේ පෙත්සම ගැන 17 වනදා තීරණයක්

පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිබඳව නියෝගය මැයි මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සම්බන්ධයෙනි. 

රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ද  එදින තෙක් දීර්ඝ කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි.

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු 176ක් විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි.

එම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම නඩුවට පාදක වන කරුණු රාජ්‍ය සේවා කොමිසම හා බැඳුණු බැවින් එම කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුනි.

Leave a Reply

Your email address will not be published.