ඇප ලබා ඇවිත් යළි ගෙවල් බින්ද “සුද්දා” අත්අඩංගුවට

ගෙවල් බිඳුම් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ මාස පහක කාලයක් තුළ ගෙවල් බිඳුම් 15ක් සිදු කළ “සුද්දා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගෙවල් බිඳ රුපියල් ලක්ෂ තිහක පමණ වටිනා භාණ්ඩ සොරකම් කර තිබූ බව සොයා ගෙන ඇත.

සැකකරු ඉකුත් 23 වන දා දළුගම පල්ලිය අසලදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේදී ගෙවල් බිඳ සොරකම් කරන බවට හෙළි කර ඇත.

ඊයේ (මාර්තු 30) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. 

සැකකරු සොරකම් කළ එම භණ්ඩ අලෙවි කිරීම සඳහා ඔහුගේ මිතුරෙකුට එම භාණ්ඩ දී තිබු අතර මේ වන විට ඔහු සැඟව සිටියි.

සැකකරු විසින් කිරිබත්ගොඩ හා කැලණිය යන ප්‍රදේශවල ගෙවල් බිඳ සොරකම් සිදු කර තිබෙන අතර රාත්‍රී කාලයේ නිවැසියන් නිදා සිටියේදී එම නිවෙස්වලට ඇතුළු වී තිබෙන බව ද ප්‍රකාශ කර ඇත.

මෙම නිවෙස්වලින් සොරකම් කළ භාණ්ඩ අතරින් පරිගණක යන්ත්‍ර 3ක්, ස්මාර්ට් ජංගම දුරකතන 4ක්, රන් ආභරණ, මැණික් ගල්, පිත්තල පහනක්, අත්ඔරලෝසු හා ඩොලර් 360ක් සොයා ගෙන තිබෙන අතර එම භාණ්ඩ කොළඹ, හෙට්ටිවීදිය, ග්‍රෑන්ඩ්පාස් හා තොටළඟ යන ප්‍රදේශවලට විකුණා තිබියදී සොයා ගෙන තිබේ.

සැකකරු කැලණිය, කොහල්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.