දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

මෙවර පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ, පාස්කු සතිය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය.

ඒ අනුව පසුගිය අප්‍රේල් 4 වනදා සිට අද (09) දින දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරු, දේවස්ථාන භාර පූජකවරු සහ දායකසභාව එක්ව එම ආරක්ෂක ක්‍රියාවලිය සිදුකර ඇත.

එම වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටත් පොලිස් මුලස්ථානය විසින් සියලුම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අවසර ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව බැතිමතුන්ට නිදහසේ ආගමික කටයුතු සිදුකර ගැනීමට අද දිනයේ අවස්ථාව හිමිවන බව ද ඒ මහතා කියා සිටියේය.

සකළ ලෝකවාසින් පාපයෙන් මුදා ගැනීම පිණිස මහ සිකුරාදා දින කුරුසයේ දිවි පිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම ලෝකවාසී කිතුනුවන් අද පාස්කු ඉරිදා ලෙස සමරනු ලබයි.

ඒ වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ මෙන්ම අද පෙරවරුවේත් දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණි.

කිතුනුවන්ගේ වාර්ෂික ජනවන්දනා දින දර්ශනයේ ප්‍රමුඛතම සැමරුම් උත්සවය වන්නේ මෙම පාස්කු මංගල්‍යයි.

කෙසේ වෙතත් මීට වසර 04කට පෙර පාස්කු මංගල්‍යය යෙදී තිබුණු අප්‍රේල් 21 වනදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් එම මංගල්‍ය සැමරීම, කඳුළු සිහිකිරීමක් බවට පත්වුණි.

ඉන් වසර 04කට පසු එළඹි මෙවර පාස්කු මංගල්‍ය වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ මෙන්ම අද පෙරවරුවේද දිවයින පුරා කිතුනු දේවස්ථානවල දේව මෙහෙයන් සංවිධානය කර තිබුණි.

මීට වසර 04කට පෙර පාස්කු ඉරිදාවේ ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්ක බවට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේද, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහ මඩකලපුව සියොන් දෙව්මැදුරේද අද පෙරවරුවේ පාස්කු ඉරිදා දේව මෙහෙය පැවැත්වුණි.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානවීම සිහිකරන පාස්කු මංගල්‍යය බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපෙක්ෂා භංගත්වය තුරන් කිරීමට ආරාධනා කරන බවය.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අදාළ නීතිමය කටයුතු ස්වාධිනව සහ අපක්ෂපාතිව ඉදිරියට යාම සඳහා අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ජනාධිපතිවරයා සිය පාස්කු පණිවුඩය තුළ පෙන්වාදෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි සිදුවීමක් මින් ඉදිරියට සිදුනොවන ලෙස රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බවය. 

Leave a Reply

Your email address will not be published.