සැත්කම්වලින් පසු ලෙඩ ඇඳට වැටුණු රෝගීන් පිළිබඳ පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදී අපට අසන්නට ලැබුණි.
අප මේ කියන්නට සූදානම් වන්නේත් පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳට සීමාවුණු තරුණ ගුරුවරියකගේ අවාසනාවන්ත කතාවකි.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී සිටින්නේ කැලණිය, නාතුඩුවේ පදිංචි 28 හැවිරිදි කළණි ඉනෝෂා පෙරේරා නැමැති තරුණියයි.
ඇය පාසල් කාලයේ ජාත්‍යන්තර තරගවලට පවා සහභාගී වී ඇති හොකී ක්‍රීඩිකාවකි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන ගුරුවරියක් ලෙස තාවකාලික පත්වීම් ලැබ සේවය කරමින් සිට ඇත.
2021 ඔක්තෝබර් 25 වනදා රෝගී වූ කළණි ඊට පසු දින රාගම පෞද්ගලික රෝහලක් වෙත ගොස් ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
එහිදී වෛද්‍යවරයා ඇයට පවසා ඇත්තේ, නොවැම්බර් 02 වනදා රාගම රෝහලට ඇතුළත් වී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන ලෙසටය.
ඒ අතරතුර ඔක්තෝබර් 27 වනදා ඇගේ තත්ත්වය අසාධ්‍ය වීම මත ඇය රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී අදාළ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් එන්ඩෝස්කොපි පරීක්ෂණයක් සිදුකර ඇයගේ පිත්තනාළයේ තිබූ ගලක් ඉවත් කර තිබුණේ 2021 නොවැම්බර් 05 වනදාය.
පිත්තාශයේ ගලක් ඉවත් කිරීමේ සැත්කමකට ද ඇය පසුව භාජනය කරන්නට සැලසුම් කර තිබී ඇති අතර පළමු සැත්කමෙන් පසු සිහිය නොලැබීම මත කළණි රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබුණි.
සැත්කමෙන් පසු ඇති වූ සංකූලතා මත ඇවිදීමට, කථා කිරීමට හෝ මුඛයෙන් ආහාර ගැනීමට හෝ නොහැකි තත්ත්වයකට කළණි මේ වන විට පත්ව සිටී.
සිය දියණිය සම්බන්ධයෙන් මව්පියන් රෝහලේ බලධාරීන් සමග සාකච්ඡාවට කිහිපයක් ද පවත්වා තිබුණි.
සිය ආදරණීය දියණිය විදේශයකට හෝ රැගෙන ගොස් සුවකර දෙන ලෙස මව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
කළණිගේ මෙම සැත්කම සිදුකර ඇත්තේ ද පිත්තාශය සම්බන්ධ සැත්කම් කිහිපයක් ම අසාර්ථක වූ බවට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙක් බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතියික සත්කාර සේවා අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.