තීරණාත්මක හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ එම හමුව පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අද දිනයේ දී එම සාකච්ඡාව ලබාදී ඇති අතර කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබා නොදීම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාතච්ඡාවේදී එම ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද හෙට (11) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ පැවැත්වෙන අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් අනතුරුව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.