ගැහැනු වෙස්ගත් පිරිමියෙක් කප්පම් ගද්දි මාට්ටු

රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප Facebook හරහා මුදාහරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

එම සැකකරු පළමුවෙන්ම රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරීවරයාට යවා ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත්තේ අදාළ තරුණියම බවට ඒත්තු ගන්වමිනි.

පසුව අදාළ නිලධාරියාගේ ද අඩනිරුවත් ඡායාරූප ඔහු වෙත ගෙන්වාගෙන තිබේ.

ඉන් අනතුරුව සැකකරු පවසා ඇත්තේ තමන්ව මුණගැසීමට යම් කිසි ස්ථානයකට පැමිණෙන ලෙසටය.

අදාළ නිලධාරියා ද ඔහු පැවසු පරිදි එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණි ප්‍රධාන සැකකරු නිලධාරිවරයාව බිය ගන්වා ඇත්තේ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳටත් පවුලේ පිරිසට සහ සමාජ මාධ්‍යට මුදා හරින බවටය.

එසේ නොකිරීමට නම් මුදල් ලබා දෙන බවට පවසා නිලධාරියාගෙන් එම අවස්ථාවේදී රුපියල් 50,000ක මුදලක් ලබාගෙන තිබේ.

පසුව නැවතත් ඇමතුමක් ලබා දෙමින් සැකකරු තර්ජනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙන ලෙසටය.

ඉන්පසුව නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව පොලීසිය පැවසු පරිදි සැකකරුට මුදලින් ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වී ඔහුට මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

ඒ අනුව මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින රියදුරන් බව පොලීසිය සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.