අහුංගල්ලේ වෙඩිතැබීම ගැන රහස් රැසක් එළියට

අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 14 වනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, කරන්දෙණිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කඳවුරට අයත් ටී.56 ගිනිඅවි 36ක් පොලීසිය රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.

වෙඩිතැබීම අදාළ යුද හමුදා කඳවුරේ සිටින පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට සැක කරන බවද පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන්ගත් අයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් පසුගිය සිංහල-දෙමළ අලුත් අවුරුදු දිනය දා අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අහුන්ගල්ල පොලීසිය විසින් ආරම්භ කළ අතර, වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කරන්දෙණිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කඳවුර අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදී සොයාගැනුණි.

අනතුරුව අම්බලන්ගොඩ පොලීසියට අනුයුක්ත නිල සුනඛ ‘තාරා’ විමර්ශන කටයුතු සඳහා යෙදවූ අවස්ථාවේදී  සුනඛයා යතුරු පැදිය අසල තිබූ කමිසයක් පළමුව ඉවකර තිබේ.

ඉන්පසු සුනඛයා අදාළ යුද හමුදා කඳවුරේ වැටක් අසලට  ගොස් ඇති බව පොලීසිය පැවසීය.

පසුව හමුදා කඳවුර තුළට රැගෙන ගිය ‘තාරා’, එහිවූ හමුදා බැරැක්කයක් අසලට දෙවතාවක් ගොස් තිබේ.

ඒ අනුව පොලීසිය සැකකරන්නේ මෙම වෙඩිතැබීම සඳහා යුද හමුදා කඳවුරේ කිසිවකු සම්බන්ධ බවටය.

අනතුරුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව, වෙඩිතැබීම සිදුවූ දිනයේ කඳවුරේ රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළුන්ට නිකුත් කර තිබූ ටී. 56 ගිනිඅවි 36ක් සිය භාරයට ගෙන තිබුණි.

වෙඩිතැබීම සඳහා T 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන්, අදාළ ගිනිඅවි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන බවද පොලීසිය එහිදී සඳහන් කර තිබේ.

මේ අතර අදාළ ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංක තහඩුවේ සඳහන් වූ අංකය වන්නේ BHU 9629 දරන අංකයයි.

එම අංකය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය පසුගිය වසරේ අහුංගල්ල ඌරගහ පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබූ පුද්ගලයා ධාවනය කළ මෙම ස්කූටර් වර්ගයේ යතුරු පැදියට අයත් ලියාපදිංචි අංකය බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.