අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකපිට 61 හැවිරිදි ඉංජිනේරුවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් ද සැකකරු සතුව තිබී විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව එහි විමර්ශන කණ්ඩායමක් පසුගියදා එම ස්ථානය වැටලීමට ගොස් තිබුණි.

පරීක්ෂණාගාරයක ස්වරූපයක් ගත් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී අධික ගන්ධයෙන් යුත් සැකකටයුතු රසායනික ද්‍රව්‍ය බැරල් 2ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

ඔවුන් සැක කරන්නේ මෙම බැරල් දෙකෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන අමුද්‍රව්‍යයක් බවය.

Leave a Reply

Your email address will not be published.